Date:19/08/2010
Source: Sarasaviya
වසර හතළිහකට අධික කාලයක් තිස්සේ නාට්‍ය කලාවේ සහ රංගනයේ අත්දැකීම් ලැබූ රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා තම පළමු වේදිකා නාට්‍ය නිර්මාණය ‘සිහින දකින්නා’ නමින් අගෝස්තු 25 – 26 දෙදින තුළ රංගගත කරන්නට සූදානම් වෙයි. මේ ඒ පිළිබඳ කෙටි කතාබහකි.
වේදිකා නාට්‍ය පැත්තට ඔබ යොමු වුණු තැනින්ම කතාව පටන් ගමු.
සංස්කෘතික දෙපාර්තමේන්තුව පිහිටවපු මුල් කලේ නැටුම් ඉගෙන ගනිමින් හිටිය තරුණයෙක් හැටියට නැටුමට තමයි මම මුලින්ම යොමු වුණේ. ගායන හැකියාවකුත් පුංචි කාලේ ඉඳලම තියෙන විත්තිය දැනෙන්න ගත්තම සංගීතයත් තරමක් දුරට ඉගෙන ගත්තා.
ජන ගායනා පැත්තත් ප්‍රගුණ කළා. සී. ද එස්. කුලතිලක මහත්මයාගේ සහාය ශිල්පියා හැටියට රට වටා ගිහින් ජන ගායනා එකතු කළා. එහෙම ආපු මේ ගමනෙදි තමයි නාට්‍ය පැත්තටත් මම යොමු වුණේ. පද්මසීල ද සිල්වා ගේ ‘රට භාරයි නුඹට පුතේ’ නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවමින්, සංගීතයත් නිර්මාණය කරමින් පළමු වරට වේදිකා නාට්‍ය අත්දැකීම මම ලබා ගත්තේ නවසිය හැත්තෑවෙදි.
ඒ මුල්ම රංගනයට ලැබුණු ප්‍රතිචාරය මොන වගේද?
අදත් මම මේ ක්ෂේත්‍රයේ ඉන්නේ එදා මගේ මංගල රැඟුමට ලැබුණු සුවිශේෂී ප්‍රතිචාරය නිසාය කියලයි මට හිතෙන්නේ. එදා ඒ නාට්‍ය බලන්න අම්බලන්ගොඩ නගර ශාලාවට විමල් දිසානායක, තිස්ස කාරියවසම්, දයානන්ද ගුණවර්ධන කියන දැවැන්තයෝ තුන් දෙනාත් ඇවිත් හිටියා. නාට්‍ය ඉවර වුණාට පස්සේ දයානන්ද ගුණවර්ධන මහත්තයා පැත්තකට කතා කරලා මගෙන් ඇහුවා එයාගේ නාට්‍යවලට සම්බන්ධ වෙනවද කියලා.
මමත් ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවෙ කිව්වා වගේ කොළඹ ඇවිල්ලා සුදර්ශියේ දී දයානන්ද ගුණවර්ධන මහත්තයා හම්බ වෙලා පද්මාවතී, ගජමන් පුවත, වගේ නාට්‍යවලට සම්බන්ධ වුණා. එතැන ඉඳලා මහාචාර්ය සරච්චන්ද්‍ර, කේ. බී. හේරත්, ජයලත් මනෝරත්න, සුනිල් චන්ද්‍රසිරි, බුද්ධික දමයන්ත වගේ බොහොමයක් නාට්‍යකරුවන්ගේ නාට්‍ය විශාල ප්‍රමාණයක මම රඟපෑවා.
ඔය ආපු ගමනේදී තමන්ගෙම නාට්‍යයක් කරන්න ඕනය කියල හිතුවෙ මොකද?
මම අර කලින් කිව්ව අත්දැකීම් ජන නාට්‍යයෙන් ලබා ගත් දැනුම වගේ දේවල් මිශ්‍ර කරගෙන අදට ගැළපෙන නාට්‍යයක් කරන්න ඕනය කියන අදහසක් කාලයක ඉඳන්ම තිබුණා. ඒකට හොඳ පිටපතක් හොය හොයා ඉන්න කොට තමයි හැත්තෑව දශකයේ ඉඳලම මම අඳුරගෙන හිටිය කොලින් සෙට්ටිනායකගේ පිටපතක් මට ලැබුණෙ. මගේ හිතේ තිබුණු අදහසයි කොලින්ගේ අදහසයි මිශ්‍ර කරලා දීර්ඝ විදිහට සාකච්ඡා කරමින් තමයි ‘සිහින දකින්නා’ කොලින් අතින් ලියැවුණේ.
ඔබේ මිත්‍රයා අතින් ලියැවුණු ඒ පිටපතේ ඔබ දකින විශේෂතා මොනවාද?
වැදගත්ම දේ තමයි ඔහු මේ රචනාව සඳහා භාෂාව යොදා ගෙන තියෙන විදිහ. උපමා, උපමේය වචන, දෙබස් මේවා වියමනක් හැටියට ගෙතිලා තියෙන විදිහ හරි අගෙයි. ඒ වගේම අලංකාරයි.
එතකොට මේකේ අන්තර්ගතය?
මේ සිහින දකින්නා පරමාදර්ශී චරිතයක්. අපේ රට යහපත් රටක් වෙන්න නම් අපේ රටේ සාරධර්ම විනාශ වෙන එක අවබෝධ කරගෙන ඒ වටිනා සාරධර්ම රැක ගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේකෙදි අපේ අවධානය යොමු වෙන්නේ. අනවබෝධය නිසා මේ සමාජ ක්‍රමයේ වහලෙක් වුණු කෙනෙක් යථා අවබෝධය ලබාගෙන මේ ලෝකය නිවැරැදිව දකින්න දරන උත්සාහය ගැන සෞන්දර්යාත්මක ගොඩ නැගීමක් තමයි මේ නාට්‍යයෙන් කෙරෙන්නේ.
මේ නාට්‍යය ෆැන්ටසියක්. බැලේ, ඔපෙරො ආදියේ ලක්ෂණත්, සම්ප්‍රදායික නර්තන ගායනා වැනි අපේ ගුණාංගත් අපි මේ නිර්මාණයට දායක කරගෙන තියෙනවා.
නිර්මාණ දායකත්ය මතක් කළොත්?
කොලින් සෙට්ටිනායක ගේ රචනය, චන්ද්‍රසෝම බිංදුහේවා නාට්‍ය නිර්මාණයක් විදිහට එළි දකින්නේ උපාලි කරුණාරත්නගේ අර්ථපතිත්වයෙන්. ජගත් චමිල, සරත් කොතලාවල, සුමිත් රත්නායක, නිල්මිණි බුවනෙක, නිලන්ති රංදිමා, අනුර බණ්ඩාර රාජගුරු රංගනයෙන් දායක වන මේ නාට්‍ය සඳහා ප්‍රදීප් මුතුකුඩ ආරච්චි සංගීතයෙනුත්, සුවිනීතා පෙරේරා සමඟ කමල් කාන්ත බෝගොඩ රංග වස්ත්‍රයෙනුත්, උපාලි කරුණාරත්න පසුතල නිර්මාණයෙනුත්, චාමර රාජපක්ෂ රංග භාණ්ඩ සම්පාදනයෙනුත්, ජගත් පද්මසිරි වේෂ නිර්මාණයෙනුත්, රංග සමරකෝන් රංගාලෝකයෙනුත්, රුවන් අධිකාරී වේදිකා පරිපාලනයෙනුත් සහාය වෙනවා.
No comments:
Post a Comment