Tuesday, 30 March 2010
අපේ පරම්පරාවේ දක්ෂ නාට්‍යකරුවන් බොහොමයක් ඉන්නවා
Author: Nuwan Nayanajith Kumara
Source: Silumina
Date: 21/03/2010
යොවුන් නාට්‍යවේදී පූජිත ද මැල්
නාට්‍ය විෂයය අද ලෝකයේ අධ්‍යාපනයට, ප්‍රජා සංවර්ධනයට නැඹුරු වී තිබෙනවා. ශෛලී නමින් අප විසින් ඇරඹූ මේ නාට්‍ය හා රංග කලා පාඨමාලාව කුඩා දරුවන්ට හා තරුණ තරුණියන්ට වශයෙන් වෙන් ව කොටස් දෙකකට සකස් කළා. නාට්‍ය හා රංග කලාව හැරුණුවිට සංගීතය, නැටුම්, චිත්‍ර කලාව වැනි විෂයයන් ද මෙහිදී ඉගැන්වෙනවා. අපේ ජනකවි, ජනකතා වැනි දේ පිළිබඳ රසවින්දනයක් අද කුඩා ළමයින්ට නොලැබෙන තරම්. තරඟකාරී විභාග රාමුවකට කොටු වී සිටින අද ළමා පරපුරට නිර්මාණකරණයේ නියැළීමට, ඒවා රස විඳීමට හෝ සම වයසේ කණ්ඩායම් හා සෙල්ලම් කිරීමට හෝ විවේකයක් නැහැ. මේ නිසා නූතන ළමා පරපුරේ මනස් ආත්මාර්ථයෙන් පිරිලා. විරුද්ධ මතවාදයක් ඉවසීමට ඔවුනට ශක්තියක් නැහැ.
මෙබඳු පාඨමාලාවක් ඔස්සේ ළමා පරපුරේ පෞරුෂ වර්ධනයට සෞන්දර්යයෙන් ඉටුකළ හැකි කාර්ය භාරය වෙත අප නැඹුරු වුණා. මේ කණ්ඩායම අප නඩ වශයෙන් බෙදා වෙන් කළා. පුංචි නඩයට වයස අවුරුදු පහේ සිට නවය දක්වා කණ්ඩායම ඇතුළත් වෙනවා. වයස 10 - 16 දක්වා නඩයකුත් වයස 18 න් ඉහළ පිරිස යොවුන් නඩයටත් අයත් වෙනවා. මේ තරුණ නඩය සඳහා වසරක පාඨමාලාවක් පැවැත්වෙනවා. මෙහිදී ඔවුන් මූලිකව හදාරන්නේ රංගනයයි. ඒ හැරුණු විට නාට්‍ය පිටපත් රචනය, අධ්‍යක්ෂණය, වේශ නිරූපණය ඇතුළු නාට්‍යකරණය හා බද්ධ වූ සියලු දේ ඉගෙනීමට මේ පාඨමාලාවෙන් අවස්ථාව ලැබෙනවා.
පාඨමාලාව අවසානයේ ඔවුන් ස්වාධීන නාට්‍යයක් නිර්මාණය කළ යුතුයි. අප ආයතනය මඟින් ඊට අවශ්‍ය පහසුකම් හා මඟ පෙන්වීම ලබා දෙනවා. ඇත්තෙන් ම මෙය විශ්වවිද්‍යාලයක නාට්‍ය හා රංග කලා පාඨමාලාවක ප්‍රමිතියෙන්මයි සකස් වී තිබෙන්නේ. 20% ක න්‍යායාත්ම දැනුමකුත් 80% ක ප්‍රායෝගික දැනුමකුත් මෙයින් ලැබෙනවා. සියලු කලාවන් රසවින්දනය, සංවිධානය, නායකත්වය, පෞරුෂය වැනි අංග ද නාට්‍යවේදියකුට වැදගත් නිසා ඒ පිළිබඳ පුහුණුවක් ද අප ලබා දෙනවා.
ශෛලි පාඨමාලාවට දායක වන ආචාර්ය මණ්ඩලය ගැන පැවසුවොත්.
මා හැරුණු විට රෝහිත කරුණාරත්න, සංජය හෙට්ටිආරච්චි, විශ්වජිත් ගුණසේකර, ධර්මප්‍රිය ඩයස්, ප්‍රියංකර රත්නායක, මල්කාන්ති රත්නායක, තිළිණි රොඩ්රිගෝ, මංජරී, නදීක වැලිගොඩපොළ, වික්‍රම සෙනෙවිරත්න, ලාල් සිල්වා ආදී ප්‍රකට ආචාර්ය මඩුල්ලක් මෙහි දෙසුම් පවත්වනවා. මේ පාඨමාලාවට සහභාගි වන ශිෂ්‍ය පිරිසෙන් බහුතරය පිරිමි ළමයි. ගැහැනු ළමයි ඉතා අඩු නිසා නාට්‍යයක් රඟදැක්වීමේදී මතුවන ගැටලුව තමයි ගැහැනු චරිත රඟපෑම සඳහා ගැහැනු ළමයි හිඟවීම. නුර්ති යුගයේ සමහර නාට්‍යවල මෙන් පිරිමි ළමයින්ටම ගැහැනු චරිත රඟපෑමට ඇතැම්විට සිදුවෙනවා.
ඔබ නිර්මාණය කළ ‘අසිනමාලි’ වේදිකා නාට්‍යයට (2000) වසර 10 ක් පිරීම නිමිතිකොට ගෙන පසුගියදා විශේෂ ඇගැයීම් උලෙළක් පැවැත්වුණා.
ඔව්. ඒ නාට්‍යයේ රඟපෑවේ නළුවන් පමණයි. වසර 10 ක් ඇතුළත එහි රඟපෑ නළුවන් එදා මෙයට මුල පිරූ අවධියට වඩා කිසියම් ස්වීය අනන්‍යතාවක්, රංගන ප්‍රතිභාවක් ප්‍රකට කිරීමට සමත්වී තිබෙනවා. අපේ ‘අසිනමාලි’ කණ්ඩායමේ සිටි ධර්මප්‍රිය ඩයස් සරසවිය සම්මානයට ද, විශ්වජිත් ගුණසේකර සුමති හා රයිගම් සම්මානවලට ද පාත්‍ර වුණා. ධර්මප්‍රිය ඩයස් ‘මචං’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගැනුණෙත් ‘අසිනමාලි’ නාට්‍යයේ ඔහු කළ රඟපෑම දැකීමෙන්.
මේ නිසා අපේ නාට්‍ය කණ්ඩායමට අවශ්‍ය වුණා, ඔවුන් දෙදෙනා ලැබූ ජයග්‍රහණයට අපේ සතුට, ඇගැයීම පළ කරන්න. ඒ අනුව ඔවුන් වෙනුවෙන් චාම් ඇගැයීමේ උලෙළක් අපි පැවැත්වූවා. මේ දිනවලත් ‘අසිනමාලි’ වේදිකාගත වෙනවා. ළඟදීම එය ඩී.වී.ඩී මාධ්‍යයෙන් නාට්‍යයේ පිටපත (මාත් නදී කම්මැල්ලවීරත් ලියූ) සමඟ එළිදැක්වීමට නියමිතයි. මෑතක හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ශිෂ්‍යාවන් මේ පිටපත රඟ දැක්වූවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් ද ‘අසිනමාලි’ නාට්‍යය අධ්‍යයනය කළා. විශ්වවිද්‍යාලයීය මට්ටමෙන් සිදුකෙරෙන මෙබඳු අධ්‍යයන නිසා ‘අසිනමාලි’ ඩී.වී.ඩී. මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම සුදුසු යැයි මා සිතුවා.
මේ දිනවල නියැළෙන ඔබේ නවතම නාට්‍ය නිර්මාණය ගැන පැවසුවොත්.
මගේ නවතම නාට්‍ය නිර්මාණයේ පිටපත මේ දිනවල සමන් ලියනගේත් මාත් සකස් කරමින් සිටිනවා. මෙය ලෝ ප්‍රකට නාට්‍යවේදී හැරල්ඩ් පින්ටර්ගේ New World order’ හා Once for the Road’ යන නාට්‍ය දෙකම ඇසුරු කොට නිර්මාණය වන අනුවර්තනයක්. දැනට මේ නාට්‍යය ‘කෝලම්’ ලෙස මා නම්කොට තිබෙනවා. ඉතා ඉක්මනින් මෙය වේදිකාගත කිරීමට නියමිතයි.
‘අසිනමාලී’ නාට්‍යයෙන් පසුව ඔබ ශිෂ්‍යත්වයක් ලැබ බ්‍රිතාන්‍යයේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. එහිදී ලැබූ අත්දැකීම් සිහිපත් කළොත්.
බ්‍රිතාන්‍යයේ ‘සසෙක්ස්’ හි පිහිටි ලන්ඩන් විවෘත විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලා පාඨමාලාව හදාරද්දී මා දුටු දෙයක් තමයි ඔවුන්ගේ විධිමත්භාවය. සෞන්දර්යාත්මක ප්‍රායෝගික අධ්‍යාපනයක් මට ඉන් ලබාගත හැකි වුණා. ඒ කාලය ඇතුළතදී මම නාට්‍ය නිර්මාණ ත්‍රිත්වයකට දායක වුණා. මෙහිදී සිදුවන්නේ එක්තරා විදියක අන්‍යෝන්‍ය පෝෂණයක්. නාට්‍යයෙන් පසුව අපේ නිර්මාණ ගැන පළවන විවෘත විචාරවලට අපි පිළිතුරු සපයන්න ඕන. ‘20 වැනි සියවසේ නිර්මාණකරුවෝ’ යන නිර්දිෂ්ට ග්‍රන්ථය මා මේ පාඨමාලාවේදී හැදෑරුවා. ඒ ග්‍රන්ථයට නොයෙක් රටවල කලාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ ගැන විග්‍රහයක් ඇතුළත්ව තිබුණා.
නමුත් දකුණු ආසියාවේ කිසිදු කලාකරුවකු ගැන මෙහි සඳහන්ව තිබුණේ නැහැ. දකුණු ආසියාවේ කෙතරම් විශිෂ්ට නිර්මාණකරුවන් සිටියත් මේ ග්‍රන්ථයට ඔවුන් ඇතුළත් නොවූයේ මන්දැයි මා මගේ ආචාර්යවරයාගෙන් ඇසුවා. ඔහු එය නිහතමානීව පිළි අරගෙන මට මෙසේ පැවැසුවා. ‘ඔබ දකුණු ආසියාතිකයෙක්. ඊට අයත් විශිෂ්ට කලාකරුවන් ගැන අප දැනුවත් කරන්න. පසුව ආචාර්යවරයා ලෙස ඔහු සොයා ගත් දේ සහ ශිෂ්‍යයා හැටියට මා දුන් දේ ආශි‍්‍රතව දකුණු ආසියාවේ විශිෂ්ට නිර්මාණ පිළිබඳ අපි ස්වාධීනව විවෘතව සාකච්ඡා කළා. ඉගෙනීමේදී ගුරු ශිෂ්‍ය දෙපාර්ශවයම සිටියේ එකම තලයක. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ දක්නට ලැබෙන ගිරව් මෙන් කටපාඩම් කරන ක්‍රමය ඔවුන් ළඟ නැහැ.
ඔබ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක්. බ්‍රිතාන්‍යයේදී ඔබ ලැබු දැනුම, අත්දැකීම් මෙහිදී භාවිත කරන්නේ කෙබඳු ආකාරයට ද?
කැලණිය විශ්වවිද්‍යාලයේදී පි‍්‍රයංකර රත්නායක, මා ඇතුළු කිහිප දෙනෙක් ප්‍රයත්න දරන්නේ බ්‍රිතාන්‍යයේදී උගත් දේ ක්‍රියාවට නඟන්න. ප්‍රථම වසරේ විශේෂ උපාධිය සඳහා දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ අකුණු’ නාට්‍යය නිර්මාණය කිරීමට අපි සූදානම් වෙනවා. ඊඩිපස්, ඇගමෙනොන්, බර්නාඩා ඇල්බාගේ සිපිරිගෙය සිහින නගරය, සිරිත් විරිත් වැනි නාට්‍ය මින් පෙර අප නිර්මාණය කළා.
නමුත් අපට ඒ සඳහා අවශ්‍ය පහසුකම්, ප්‍රතිපාදන නිසි ලෙස ලැබෙන්නේ නැහැ. ඒ සඳහා විවිධ බාධා ගැටලු මධ්‍යයේ තමයි අපි මේ කාර්යයේ නිරත වෙන්නේ. සමහර වෙලාවට අපට නාට්‍ය පුහුණු වෙන්න වේදිකාවක්වත් නැහැ.
ප්‍රවීණ නාට්‍යවේදිනි සෝමලතා සුබසිංහයන්ගෙන් ලැබුණු ආභාසය ඔබගේ නාට්‍ය ජීවිතයේ සාර්ථකත්වය සඳහා බෙහෙවින් ඉවහල් වුණා.
නාට්‍යවේදියෙක් ලෙස මා අද යම් ආස්ථානයක සිටිනවා නම් ඒ ගෞරවයේ වැඩි කොටස හිමිවන්නේ සෝමලතා සුබසිංහ ඇදුරුතුමියටයි. නාට්‍ය කලාවේ අ යනු ආ යනු කියා දුන්නේ ඇයයි. ඇය කිසිදාක අපට විධාන දුන්නේ නැහැ. නිදහසේ සිතීමට, අධ්‍යයනය කිරීමට අවැසි මඟපෙන්වීම කළා. අපට වැරදුණු තැන්වලදී ඇය අප දිරිගැන්වූවා.
අපේ ශෛලී පාඨමාලාවට සම්බන්ධ මංජරී, පි‍්‍රයංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, සමන් ලියනගේ, රෝහිත කරුණාරත්න ඇතුළු බොහෝ දෙනෙක් ඇගේ ළමා හා යොවුන් රංග පීඨයෙන් ගුරු හරුකම් ලැබු සිසු පිරිසයි.
නූතන පරපුරේ නාට්‍යකරුවාට තිබෙන අභියෝග ඔබ දකින්නේ කොහොම ද?
අපේ පරම්පරාවේ දක්ෂ නාට්‍යකරුවන් සිටිනවා. ගැටලුව තිබෙන්නේ එය නොවෙයි. එදා යුගයේ නාට්‍ය පෙන්වීමට තිබුණු වටපිටාව අද නැහැ. එදා පේ‍්‍රක්ෂකයා නාට්‍යයක් නැරැඹීම සැලැකුවේ සමාජ වටිනාකමක්, වගකීමක් ලෙසයි. එදා ජනතාවගේ තිබු සංස්කෘතික ජීවිතය අද ක්‍රමිකව බිඳ වැටිලා. අපේ මවුපියන් අපිව නාට්‍ය ක්ෂේත්‍රයට යොමු කළාට අද මවුපියන් එබදු දෙයකට තම දරුවන් යොමු කරාවි ද? අද බොහෝ මවුපියන්ට ඕනෑ තම දරුවන් ‘රියැලිටි ෂෝ’ වල ප්‍රදර්ශන භාණ්ඩ කරන්නයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment